මධ්‍ය කඳුකරය
ඇතුළු උස්‌බිම්වලින් පටන්ගෙන දහස් ගණන් ඇළ දොළවලින් ද, පෝෂණය ලබමින් දිවයිනේ විවිධ දිශාවනට ගලා යන
ගංගා 103ක් ස්‌වභාවධර්මය
විසින් අප දිවයිනට දායාද කරනු ලැබ ඇත. ඈත අතීතයේ සිට ම මිනිසාට අවශ්‍ය ජල අවශ්‍යතා,
ආහාර අවශ්‍යතා හා ප්‍රවාහන
පහසුකම් ද සපයා ඇත්තේ මේ ගංගාවන් මඟිනි. මේ ගංගාවන් දිවයිනේ විශාල බිම් ප්‍රදේශයක්
තෙත් කරන අතර විටින් විට ඇති වන පිටාර ගැලීම් මඟින් එම ප්‍රදේශවල පස සරු කිරීමේ කාර්යයෙහි
ද නියෑළෙයි.
ගලා යන ගංගා
හා ඒ දෙපස ඇති විශේෂ පරිසර පද්ධති මඟින් රටේ ජෛවවිවිධත්වය වැඩි කරයි. ඒ අනුව
මිරිදිය මත්ස්‍යයන් ඇතුළු සත්ත්ව හා ශාක විශේෂ රාශියක් ම ගංගා හා ඒ ආශ්‍රිත පරිසර
පද්ධති මඟින් අපට උරුම කර දී ඇත.
එහෙත් අද ශ්‍රී
ලංකාවේ සමස්‌ත ගංගා පද්ධතිය ම දූෂණයට ලක් වී හමාර ය. විවිධ හේතු මඟින් ගංගා පෝෂිත
ප්‍රදේශවල වන ආවරණය ඉවත් වීම නිසා ගංගාවලට ලැබෙන ජල ප්‍රමාණය අඩු වෙමින් පවතින අතර
ඒ නිසා වියළි කාලවල දී බොහෝ ගංගා හිඳී යනු දක්‌නට ලැබේ.
එදා පිරිසිදු
පැහැදිලි ජලය ගලා ගිය ගංගාවල අද ඇත්තේ බොර පැහැති ජලයයි. විශාල රොන්මඩ ප්‍රමාණයක්
නිතිපතා ජලයට එක් වෙමින් පවතින නිසා මෙවැනි තත්ත්වයක් උද්ගත වී ඇත. වනාත්තර
විනාශය, අවිධිමත්
සංවර්ධන ක්‍රියා, ගංගා දෙපස ශාක
ආවරණය ඉවත් වීම හා ගංගා ආශ්‍රිතව සිදු කරන මැණික් ගැරීම් හා වැලි ගොඩ ලෑම වැනි
හේතු නිසා ද, වැහි කාලවල දී
ඇති වන නාය යැම් නිසා ද මේ තත්ත්වය ඇති වී ඇත.
මහවැලි ගංගාවට
පමණක් මෙසේ වර්ෂයකට පස් ටොන් 1,32000 සිට 1,50000 දක්‌වා වූ ප්‍රමාණයක් එක් වන බව සමීක්‍ෂණවලින් හෙළි
වී ඇත. ගංගා ජලය මඟින් ගෙන එන මේ රොන්මඩ මහවැලි ජලාශ ඇතුළු ජලාශවලට ඇතුළු වීම නිසා
ඒවායේ ජල ධාරිතාව ද, බොහෝ සෙයින්
අඩු වී ඇත. මේ තත්ත්වය කාෂිකර්මාන්තයට මෙන්ම ජල විදුලි උත්පාදනයට ද, අහිතකර ලෙස බලපායි.
මීට අමතරින්
සීමා රහිතව සිදු වන වැලි ගොඩ ලෑම නිසා ගංගාවල විවිධ ස්‌ථාන අස්‌වාභාවික ලෙස ගැඹුරු
වී ඇත. මේ නිසා ජලය බැස යැම හරිහැටි සිදු නො වන අතර කරදිය රට අභ්‍යන්තරයට පැමිණීමේ
අවදානමක් ද පවතී. ගං ඉවුරු පටු වීම් හා පස් කණ්‌ඩි කඩා වැටීම් ද, ගංගා ආශ්‍රිතව සිදු
කරන වැලි ගොඩ ලෑම් හා මැණික් ගැරීම් වැනි ක්‍රියාවලින් ඇති වන වෙනත් ආපදා ලෙස
හැඳින්විය හැකි ය.
දිවයිනේ සියලු
ම ප්‍රදේශවලින් කෘෂි රසායනික ද්‍රව්‍ය හා කර්මාන්තශාලා අපද්‍රව්‍ය ද, විශාල ප්‍රමාණයක්
ගංගාවලට එකතු වේ. ගංගාවල ජෛවවිවිධත්වය කෙරෙහි මෙය තදින් ම බලපා ඇත. පානීය ජලය හා
ආහාර දාම මඟිsන් මේ ද්‍රව්‍ය
මිනිස් සිරුරුවලට ඇතුළු වෙමින් පවතී. මේ ද්‍රව්‍යවල ඇති ආසනික්, මර්කරි, ඊයම් හා කැඩ්මියම්
වැනි බැර ලෝහ ජීව පටකවල තැන්පත් වන අතර ඒවා කිසි විටක ශරීර තුළින් බැහැර නො වේ.
මීට අමතරින්
ගොවිබිම්වලින් සෝදා එන රසායනික පොහොර හේතු කොටගෙන ගංගාවල අක්‍රමවත් ලෙස ජල ශාක ව්‍යාප්ත
වී ඇත. සුපෝෂණය නමැති මේ සිද්ධිය නිසා ගංගා පරිසර පද්ධති විකෘති වෙමින් පවතී. මේ
අතර දිරා නො යන පොලිතින් ඇතුළු කැළි කසළ ඇළ දොළවලට දැමීම මඟින් වස විස සමග ම
රෝගකාරක බීජ ද ගංගා ජලයට එක් වි ඇත.
ස්‌වභාව
සෞන්දර්යය වර්ධනය කරන ගංගාවල ඉහළ ප්‍රදේශවල ඇති රවුම් ගල් ඇතුළු විවිධ පාෂාණ කොටස්
හොර රහසේ ඉවත් කර විකිණීමේ ජාවාරම් ගැන ද අපට ඉඳ හිට අසන්නට ලැබේ.
මේ සියලු ම ක්‍රියාවල
අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ අප ගේ වටිනා ම සම්පතක් වන සමස්‌ත ගංගා පද්ධතිය ම
විනාශයට පත් වෙමින් පැවතීමයි. මෙය මුළු දිවයිනේ ම ජීව හා අජීව පරිසරය කෙරෙහි සෘජු
ව ම බලපාන ගැටලුවක් බව අප හැම දෙනාම වටහා ගත යුතු ය.
උඩුගම එස්.
ජයසුන්දර
උපුටා ගැනීම විදුසර පුවත් පතිනි
උපුටා ගැනීම විදුසර පුවත් පතිනි

0 comments:
Post a Comment